Friday, May 3, 2024

General line - 0115112241

දකුණේ පාතාලය ගාල්ල බන්ධනාගාරයේදීත් ගැටෙයි




ගාල්ල බන්ධනාගාරය තුළදී පාතාල කණ්ඩායම් දෙකක පුද්ගලයින් කිහිප දෙදෙනකු අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් සැකකරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සූජිගේ සමීපතමයෙකුට එලෙස තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ රත්ගම විදුරගේ සමීපතමයින් සිව් දෙනෙකු බවයි. 
එහිදී තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ සුජිත් ප්‍රසන්න නොහොත් ඇන්ටා නමැති පුද්ගලයෙක්. බුස්ස ප්‍රදේශයේ පදිංචි කන්දේ අසංක නොහොත් හාමු යන රැඳවියා විසින් සැකසූ පිහියක් වැනි යමකින් අදාළ පුද්ගලයාට පහරදී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා. 
ඊයේ පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් පෝලිම් ගස්වා ඔවුන් රඳවා සිටින වාට්ටුවලට ඇතුලු කිරීමේදී මෙම ගැටුම හටගෙන ඇති අතර දැනට ඩුබායි හි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන ලොකු පැටී සහ ප්‍රදීප් යන විසින් මෙය මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. කැපුම් තුවාල ලත් සුජිත් ප්‍රසන්න නොහොත් ඇන්ටා නැමැත්තා 2022 වර්ෂයේ දී ද වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එයද මෙහෙයවා ඇත්තේ ලොකු පැටී නැමැත්තා බවයි පැවසෙන්නේ. 
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගෙන් අද දිනය තුළ වාර්තාවක් කැඳවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියා සිටියා. එමෙන්ම පහරදීමට සම්බන්ධ රැඳවියන් සිව්දෙනා වෙනත් බන්ධනාගාරයකට හෝ බන්ධනාගාර කිහිපයකට මාරු කර යැවීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.