Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දියාව සහල් පිටරට යැවීම හදිසියේ තහනම් කරයි




බාස්මතී නොවන සුදු සහල් අපනයනය හදිසියේ තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ, දේශීය සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහායි. ඉකුත් සමයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ වී වගාවට හානි සිදුවී තිබෙනවා. පසුගිය මාස 12 තුළ පමණක් සහල් මිල සියයට 11 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.


ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු වනවා. ගෝලීය සහල් අපනයනයෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සතුයි. ඉන් හතරෙන් එකක්ම බාස්මතී නොවන සුදු සහල් වනවා.

එම සහල් ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලටයි. මේ හේතුවෙන් ගෝලීය ආහාර මිල ඉහළ යා හැකි බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.


ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ තිරිඟු පිටි ඇතුළු යුක්රේන ධාන්‍ය සම්බන්ධයෙන් රුසියාව ඉකුත්දා දැඩි තීරණයක් ගැනීමත් සමඟයි. තිරිඟු පිටි ඇතුළු යුක්රේන ධාන්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ඉඩදීමේ ගනුදෙනුවෙන් රුසියාව මේ සතියේ ඉවත් වීමෙන් පසු ආහාර සැපයුම් දාමයට දැනටමත් පීඩනයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.