Friday, May 3, 2024

General line - 0115112241

චීනයේ විදේශ කටයුතු ඇමති ධූරයෙන් නෙරපා හැරේ




චීනයේ විදේශ අමාත්‍ය කිං ගැන්ග් එම ධූරයෙන් නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් කිං ගැන්ග් එරට විදේශ අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් ඉකුත් දෙසැම්බර් මාසයේදීයි.

ඉන් අනතුරුව විදේශ රටවල හොඳ හිත දිනා ගනිමින් කටයුතු කළ ඔහු චීනයේ නැගී එන දේශපාලන තරුවක් ලෙසයි විචාරකයින් විසින් හඳුන්වා දෙනු ලැබුවේ.

එවන් පසුබිමක් තුළ චීන විදේශ අමාත්‍ය කිං ගැන්ග් හදිසියේ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට හේතුව වූයේ ඉකුත් ජූනි 25 වනදායින් පසු චීන රජය නියෝජනය කරමින් කිසිඳු ප්‍රසිද්ධ අවස්ථාවකට ඔහු සහභාගී නොවීමයි.

අවසන් වරට ඔහු හමුවී තිබුණේ රුසියානු, වියට්නාම සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඉකුත් සති 03 ක කාලය තුළ අවස්ථා කිහිපයකදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් චීනයට පැමිණ සිටිය ද එවැනි කිසිඳු අවස්ථාවකට විදේශ අමාත්‍යවරයා සහභාගී වුණේ නැහැ.

ඒ පිළිබඳ ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් ද මතුවුණා. විදේශ අමාත්‍යවරයා නියෝජනය කරමින් එවැනි අවස්ථා සඳහා සහභාගී වූයේ එරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන වැන්ග් යී.

එමෙන්ම චීනයේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ද වැන්ග් යී වීම විශේෂත්වයක්.

ඔහු කිං ගැන්ග්ට පෙර චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ද වන අතර චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සමීපතම නිලධාරීන් කිහිපදෙනා අතර පෙරමුණේ පසුවන්නකු ද වනවා.