Tuesday, May 7, 2024

General line - 0115112241

අමෙරිකාවේ සංචාරක හදවත හවායි දූපත ගින්නකින් වැනසෙයි.




ලොව පුරා සංචාරකයින්ගේ අතිශය ආදරයට පාත්‍ර වූ අමෙරිකාවේ හවායි දූපතට ගින්නකින් දැඩි හානි සිදුව තිබෙනවා.

දින කිහිපයක් තිස්සේ පවතින මෙම ගිනිගැනීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 53 ක්. තවත් දහසකට අධික පිරිසක් අතුරුදන්ව සිටිනවා. හවායි ආණ්ඩුකාර ජොස් ග්‍රීන් පවසන්නේ මෙය හවායි ඉතිහාසයේ හටගත් විශාලතම ස්වභාවික විපත බවයි.

හවායි දූපතේ බටහිර වෙරළ තීරයේ පිහිටි සංචාරක ආකර්ශණය දිනූ “ලහයිනා නගරයේ” සියයට 80 ක් ගින්නෙන් විනාශවී තිබෙනවා. එම නගරයේ පමණක් විනාශවී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 1,700 ක්.


ඉකුත් අඟහරුවාදා ආරම්භවූ මෙම ලැව්ගිනි තත්ත්වය දිගින් දිගටම ව්‍යාප්තවූ අතර සංචාරකයින් 14,000 ක් කඩිනමින් හවායි දූපතෙන් ඉවත් කිරීමටයි පියවර ගත්තේ. දූපතේ ජීවත් වන 11,000 කට වැඩි පිරිසකට තවමත් විදුලිය අහිමිවී තිබෙනවා.

ගින්නත් සමඟ දූපතේ සිටි සංචාරකයින් මුහුදට පැන පැය ගණනාවක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් ගින්න තවමත් සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා නැහැ.