Sunday, May 19, 2024

General line - 0115112241

ඩුබායිහීදී ඇල්ලූ මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි




ඩුබායි රාජ්‍යයේ සැගව සිටියදී අත්අඩංගුවට ගැනුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් හෙවත් රමේෂ් ප්‍රියජනක නැමැත්තා අද අළුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් විසින්.

රතු වරෙන්තු මත ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුනු සැකකරු අද අළුයම 04යි 43ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් මෙරටට රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳව තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ මන්නා රමේෂ් ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැඳවා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන එනු ලැබුවා.

ඉදිරි විමර්ශන සඳහා එම සැකකරු අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රමේෂ් නැමැත්තා අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් සහ මිනීමැරුම් ඇතුළු චෝදනා රැසක් එල්ලවී සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ. 

මේ අතර අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට මන්නා රමේෂ් විසින් තර්ජනය කරන හඬ පටයක්ද නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඉකුත්දා අනාවරණ කෙරුණා.
ටී.කේ.ජී. කපිල