Friday, May 3, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ ගැටුම් හමුවේ තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්




ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයා ගාසා තීරයට උතුරු කොටසේ සිටින් බීච් නමැති සංචාර හෝටලයේ සේවය කළ පුද්ගලයෙක් බවත් , ඔහුගේ අතට සහ උදර ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ. 

එමෙන්ම, අතුරුදන් වී සිටින තරුණයා පිළිබඳ මේවනවිට තොරතුරු සොයමින් පවතින බවත් ඔහු පිළිබඳ එරට රතු කුරුස සංවිධානය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාලය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට තානාපති කාර්යාලය සමඟ එක්ව මෙරට රජය කටයුතු කරමින් සිටින බවයි.  

එමෙන්ම, ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ගැටලුවක් ඇති වුවහොත් 0094 - 716640560 අංකයට වට්ස් ඇප් ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාලය එරට ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළා.