Tuesday, May 7, 2024

General line - 0115112241

ගාසා යුද්ධය මැද ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සමග පැටලෙයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ගාසා යුද ගැටුම් සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඊශ්‍රායලය යම් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ අදාළ ප්‍රකාශය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

හමාස් සංවිධානයේ බිහිසුණු ප්‍රහාරවලට පලස්තීන ජනතාවට සාමූහික දඬුවම් දීම සාධාරණීකරණය කළ නොහැකි බව ගාසා යුධ ගැටුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා පවසා තිබුණා.

එම ප්‍රකාශයට විරෝධය පල කරමින් ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන ලියෝ හයිට් පවසා ඇත්තේ එම ප්‍රකාශය හමාස් ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ හිස් වචන බවයි.

එමගින් ත්‍රස්තවාදය සඳහා සාධාරණීකරණය ලබා දුන් බව ද ඔහු චෝදනා කර තිබෙනවා.