Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා සටන් විරාමයකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි




ගාසා තීරය තුල සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් සාමාජික රටවල් විසින් සම්මත කර තිබෙනවා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් හිමිව ඇති අතර විපක්ෂව රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි රටවල් සංඛ්‍යාව 45 ක්.

කෙසේවෙතත් ඊශ්‍රායලය ගාසා තීරය වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ක්‍රියාත්මක ගොඩබිම් මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කර ඇති බවයි.

ඒ අනුව හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදාව අතර ගාසා තීරයේ උතුරු දේශ සීමාවේ දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාර සඳහා ඊශ්‍රායලය ප්‍රහාරක ගුවන් යානා ද යොදවා ඇතැයි සඳහන්. මේ අතර ගාසා තීරයේ දුරකථන සබඳතා මෙන්ම අන්තර්ජාල සබඳතා ද මේවනවිට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.


ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන කිහිපයක් පවසා ඇත්තේ ගාසා තීරයේ සිටින ඔවුන්ගේ ප්‍රාදේශීය කාර්ය මණ්ඩලය සමඟ පැවැති සබඳතා බිඳ වැටී ඇති බවයි. 

පවතින තත්ත්වය හමුවේ ගාසා තීරයේ සිටින වැසියන්ගේ ජීවිත පවතින්නේ බරපතල අවදානමක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සියලු දේශ සීමා වසා ඇති බැවින් හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාරවලට මැදිව සිටින ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන්ට පලා යාමට කිසිදු ස්ථානයක් නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල භූමිය හැර ගාසා තීරයෙන් පිටව යා හැකි ඊජිප්තුවේ රෆා දේශසීමාව ද මේවනවිටත් විවෘතව පවතින්නේ ගාසා තීරයට ඇතුළු වන ආධාර සඳහා පමණයි.