Saturday, April 27, 2024

General line - 0115112241

නේපාලයේ භූ කම්පනයෙන් මිය ගිය පිරිස 129 ක් දක්වා ඉහළට




නේපාලයේ බටහිර ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රියේ බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 129දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.6 ක් බවයි.

කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 500 ක් පමණ දුරින් පිහිටි ජජාකොට් සහ බටහිර රුකුම් යන දුෂ්කර ප්‍රදේශ දෙකකට භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.


භූ කම්පනයත් සමග එම ප්‍රදේශවල ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ. විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහා එම ප්‍රදේශවලට කඩිනමින් හමුදාව යොදවා ඇතැයි සඳහන්.

භූ කම්පනය හමුවේ තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි හමුදාව පවසන්නේ. ජජර්කොට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


භූ කම්පනයේ ප්‍රභලත්වය නේපාලයේ කත්මණ්ඩු අගනුවරට සහ ඉන්දියාවේ දිල්ලි ඇතුළු තවත් නගර කිහිපයකට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන 03 ක බලපෑම් ද එල්ල වී ඇති අතර එහි බලපෑම් එල්ල වූ ජනතාව නිවෙස්වලින් ඉවත් වී මාර්ගවල රැඳී සිටිමින් රැය පහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.