Wednesday, May 15, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන විවේචන




ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉකුත් ඉරිදා පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය සිය විවේචන එල්ල කර තිබෙනවා.

ඒ, තරගය සම්බන්ධයෙන් පැවති ඒකපාර්ශවීය විකාශනය, තරගයට පෙර හා පසු සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් පලකරමින්.

ලෝක ප්‍රකට බ්‍රිතාන්‍යයේ  ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාවක් පල කරමින් සදහන් කර ඇත්තේ එම අවසන් මහා තරගයේ නිල විකාශන කටයුතු පවා ඒකපාර්ශවීය වූ බවයි.

ඉන්දීය ප්‍රේක්ෂක පැමිණීම, ගුවන් සංදර්ශන, ඒක පාර්ශවීය විස්තර විචාර ද මෙහිදී විවේචනය කර තිබෙනවා.

මධ්‍යස්ථ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුට පෙනී යන්නේ වැරදි කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම වැනි හැගීමක් යැයි ද ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා.

තරගයට පෙර සිටම නිල විකාශන කටයුතු ඉන්දීය ජාතිකවාදී ස්වරූපයක් ගත් බවද එහි සදහන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලියක මෙවැනි හැසිරීමක් ඔවුන්ගේ කනස්සල්ලට ද හේතුවී තිබෙනවා.

පැහැදිලිවම මෙය ඉන්දීය ගෘහස්ත තරඟයකට වඩා ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර අවසන් මහ තරඟයක් ලෙස සැලකීමට නොහැකි මට්ටමක උදාහරණ තිබූ බවත් එය බි්‍රතාන්‍ය වැනි සැතපුම් 4,250ක් දුරින් සිට නරඹන ප්‍රේක්ෂකයාට කනස්සල්ලක් බවත් ද ටෙලිග්‍රාෆ්  පුවත්පත පෙන්වා දෙනවා.

එමෙන්ම, තරගයෙන් පසු පැවති අදහස් දැක්වීම්, කුසලානය ලබා දීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඕස්ට්‍රේලියා නායකයා තනිකර වේදිකාවෙන් බැසයාම වැනි සිද්ධීන්ද මෙම වාර්තාවට ඇතුලත් කර ඇති අතර ක්‍රිකට් තරග විකාශනයේ අනාගතය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්ණයක් ද මතු කර තිබෙනවා.