Wednesday, May 15, 2024

General line - 0115112241

ගාසා සටන් විරාමය දීර්ඝ කිරීමේ සැලසුමක්




ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් අතර එළඹි සිව්දින සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව සාර්ථක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව එම සටන් විරාමයේ තුන්වන දිනයයි අද ක්‍රියාත්මක වුණේ.

අද දිනයේ මුදා හැරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුව හමාස් සටන්කාමීන් විසින් නිකුත් කර ඇති බවත්, එය තමන් වෙත ලැබී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

කෙසේවෙතත් දෙපාර්ශවයේ සටන් විරාමය අතරතුර මේ දක්වා හමාස් සංවිධානය විසින් සිය භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 41 දෙනෙකු මුදා හැර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඊශ්‍රායලය ද පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර සටන් විරාමය අතරතුර එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ඊයේ ගාසා තීරයට ආහාර, ජලය හා ඖෂධ ඇතුළත් ට්‍රක් රථ 61 ක් ඇතුළු වී තිබෙනවා.

ඒවා ගාසා හි උතුරු දිග ප්‍රදේශයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා තීරයේ ක්‍රියාත්මක සිව්දින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා කටාරය මැදිහත්වී සිටිනවා.

කටාරයේ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා සාකච්ඡා මාර්ගයකට එළඹීමට අපේක්ෂා කරන බවයි.