Thursday, May 9, 2024

General line - 0115112241

සුපිරි මිනිසුන් පසුකරමින් වසරේ විශිෂ්ඨතම පුද්ගලයා ගායිකාවකට




2023 “වසරේ විශිෂ්ඨතම පුද්ගලයාට” හිමි සම්මානය ලෝක ප්‍රකට අමෙරිකානු ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ට හිමිවී තිබෙනවා. ඒ, අමෙරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමා, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි හා දේශගුණික විපර්යාස සහ පරිසරය රැකගැනීම වෙනුවෙන් ලොව පුරා දැඩි හඬක් නගන ස්විඩනයේ ග්‍රේටා ටන්බර්ග් අභිබවමින්. එමෙන්ම වසරේ විශිෂ්ඨතම පුද්ගලයාගේ නිර්දේශිත නම් 10 අතර චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද ඇතුලත් වුණා.


ලෝකප්‍රකට ටයිම්ස් සඟරාව මඟින් සෑම වසරකම වසරේ විශිෂ්ඨතම පුද්ගලයා ප්‍රකාශයට පත්කරනවා. ඒ, එම වසර තුළ ලෝකයට සහ ලෝක ප්‍රජාවටත්, අදාළ ක්ෂේත්‍රයටත් සිදුකළ බලපෑම් සැලකිල්ලට ගනිමින්. අමෙරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට් මේ සඳහා නිර්දේශවී ඇත්තේ ඇය විසින් වාර්තා පිට වාර්තා තබමින් සංවිධාන කරනු ලැබූ “එරාස්” සංගීත ප්‍රසංග මාලාව හේතුවෙන්. විනාඩි 180 ක් පුරා දිවෙන මෙම ප්‍රසංගය ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති සාර්ථකම ප්‍රසංග මාලාවක් ලෙසටයි සැලකෙන්නේ. එහි ප්‍රවේශපත්‍රවලට පැවති දැඩි ඉල්ලුම හේතුවෙන් ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරන ලෝක ප්‍රකට වෙබ් අඩවි පවා බිඳවැටී තිබුණා.

ප්‍රවේශපත්‍ර ලබානොගත් රසිකයින් සංගීතය ඇසීමට පමණක් ප්‍රසංග පැවැත්වෙන ස්ථාන වටා රොක්වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඇයගේ ප්‍රසංග මඟින් රික්ටර් පරිමාණයේ ඒකක 2 යි දශම 3 ක භූමිකම්පාවකට සමාන කම්පනයක් ඇතිකිරීමට තරම් ජනතා ක්‍රියාකාරකම් සිදුවූ බව ද විදෙස් මාධ්‍ය පෙන්වාදී තිබෙනවා.