Thursday, May 16, 2024

General line - 0115112241

කැනඩාවේ පිහි ඇණුමකින් දරුවන් 04 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 06ක් මිය යයි




කැනඩාවේ ඔටාවා නගරයේ සිදුවූ සමූල ඝාතනයකින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගිය පිරිස අතර ඇත්තේ එකම පවුලේ මව සහ දරුවන් සිව්දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇති මව අවුරුදු 35 ක කාන්තාවක්.

මිය ගොස් ඇති ඇගේ දරුවන් අවුරුදු 7, 4, 2 සහ මාස දෙකහමාරක් යන වයස් කාණ්ඩවල පසුවූවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම විපතට පත් අදාළ පවුලේ සාමාජිකයින් සමග ඔවුන්ගේ නිවසේ සිටි තවත් 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ද සිද්ධියෙන් මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මෙන්ම දරුවන්ගේ පියා වන පුද්ගලයා තුවාල ලබා නිවස ඉදිරිපිට කෑ ගසමින් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි සඳහන්.

ඔහුව රෝහල් ගත කර ඇති අතර ජීවිතයට තර්ජනයක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම පවුලේ සාමාජිකයින් සියලු දෙනා එකවර නොව වරින් වර කැනඩාවට සංක්‍රමණය වූවන් බව ද පැවසෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ මියගිය දරුවන් සිව්දෙනා අතර සිටි මාස දෙකහමාරක කුඩා දැරිය කැනඩාවේදී උපත ලබා ඇති බවයි.

මෙම ඝාතන වෙඩි තැබීමකින් සිදුවූවක් බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන නමුත් ඇතැම් වාර්තා පවසන්නේ එය පිහි ඇනුමකට සමාන සිදුවීමක් බවයි.

කෙසේවෙතත් ඝාතනය සිදු කළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදුවූ නිවසේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරකින් යුතු ස්ථානයක රැඳී සිටියදීයි.

සැකකරු ද මිය ගිය පිරිස සමග එම නිවසේ සිටි පුද්ගලයෙකු බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔවුන් සමීප සබඳතා පැවැත්වූ දැනහැඳුනුම්කම් ඇති පුද්ගලයින් බව ද පැවසෙනවා.

කෙසේවෙතත් මෙම ඝාතන සිදුව ඇත්තේ බදාදා රාත්‍රියේ බව සඳහන්.

අත් අඩංගුවට ගැනුනු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මාර්තු 14 වනදා ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මනුශ්‍ය ඝාතනයට අදාළ චෝදනා 06 ක් සහ ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

මෙම ඝාතන මෑතකාලීනව ඔටාවාහි සිදුවූ දරුණුතම සමූහ ඝාතනය ලෙස සැලකෙන බව පොලිසිය පැවසුවා.

මෙම බිහිසුණු ප්‍රචණ්ඩත්වය පිළිබඳව සියලු දෙනා කම්පනයට හා භීතියට පත්ව සිටින බවයි සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසා ඇත්තේ.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් පවසා ඇත්තේ මෙම සිදුවීම හද කම්පාකරවන්නක් බවයි.