Saturday, April 27, 2024

General line - 0115112241

පාතාලය මර්දනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්




දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව අද සිට පාතාල මර්දනය සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා.

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

සෑම කණ්ඩායමක් සදහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු සහ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු නිළධාරීන් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමග අනුයුක්ත කරනු ඇති.

පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 935 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 61 ක් සමගින් මුළු සැකකරුවන් 996 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 50 දෙනෙකු, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 23 දෙනෙකු, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන  පුද්ගලයින් 67 දෙනෙකු සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 09 දෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.