රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි ලෙස සකස් කර ගිල දමා දිවයිනට පැමිණි ගිනියා ජාතික කාන්තාවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
සියරාලියෝන් සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පැමිණ ඇති මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා ඉන් අනතුරුව දිවයිනට පැමිණ තිබෙනවා.
40 හැවිරිදි සහ 42 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනා උපත් පාළන කොපු තුළ බහා, ග්‍රෑම් 15 ක් පමණ බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි සකස් කර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
එක් අයෙකු මෙම ගුළි 75 බැගින් ගිල පැමිණ ඇති බව, කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිලෝකන යන්ත්‍රය වෙත වාර්තාවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේ.
මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගිල දමා පැමිණි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ග්‍රෑම් 500ක් පමණ බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 40 ක් පමණ පිටතට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.
සැකකාර විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදුන් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එම කාන්තාවන් දෙදෙනා පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඔවුන් ගිල දැමූ ඉතිරි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නියමිතයි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ කොකේන් මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් තුන්වන අවස්ථාව මෙය බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් පැවසුවේ.