Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරුමැද සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.