Saturday, May 4, 2024

General line - 0115112241

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන තහවුරුවක්




උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස එක් දින නිල සංචාරයකට දිවයිනට පැමිණෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතයි.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට පෙරවරුවේ ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමටද නියමිතව තිබෙනවා.

එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය සැපයෙන අතර බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39ක ප්‍රමාණයක් ලබා දීමට හැකි වනවා.

උමාඔය ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව ගිගා වොට් පැය 290ක්.

ඉරාන ජනාධිපතිවරයා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබි්‍රද නෙත් නිවුස් කළ විමසීමකදී තහවුරු කළා.