Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක්




2024 වසරේ මුල් මාස 04 තුළදී ශ්‍රි ලාංකිකයින් 2,771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාළව රැකියා හිමිවූ බවයි එම කාර්යාංශය පැවසුවේ.

ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1,558 දෙනෙකුද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, මැයි මාසයේ මුල් සති දෙක තුළ තවත් ලාංකිකයින් 172 දෙනෙකු ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.

2023 වසර තුළදී ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1,912 දෙනෙකු පමණයි.

ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.