Saturday, May 18, 2024

General line - 0115112241

 දකුණු බ්‍රසීලයේ ගංවතුරෙන් මිය ගිය ගණන ඉහළට




දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් දෝ සෝල් ප්‍රාන්තයේ ඇති වී තිබෙන ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් මේ වන විට එරට පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 74ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

එසේම තවත් පුද්ගලයන් 67 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රාන්තයේ නගර 497න් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට ගංවතුර තත්ත්වය බලපා තිබෙනවා.

මෙම ප්‍රාන්තයට දින කිහිපයක සිට බලපා ඇති අධික වර්ෂාපතනය මෙම තත්ත්වය සඳහා හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ හේතුවෙන් පුද්ගලයන් 69,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අවතැන් වී ඇති බවයි එරට සිවිල් ආරක්ෂක අධිකාරිය පැවසුවේ.

ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පාලම් විනාශ වී තිබෙනවා.

කුඩා ජල විදුලි බලාගාරයක වේල්ලක් ද කඩා වැටී ඇති අතර එහි දෙවන වේල්ලද  කඩා වැටීමේ අවදානමක් පවතින බව එරට බලධාරීන් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

කෙසේවෙතත් පවතින වර්ෂාපතනයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බවයි එරට කාලගුණ විද්‍යාඥයින් පවසා ඇත්තේ.