Saturday, September 7, 2024

General line - 0115112241

ඉන්දු ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය ජය පැරදුමකින් තොරව අවසන්




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක් දින ක්‍රිකට් තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වුණා.

ඒ, කණ්ඩායම් දෙකම ලකුණු 230 බැගින් රැස් කිරීම හේතුවෙන්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරඟයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් රැස් කළා.

එහිදී සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67ක්.

පන්දු 65කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට 06 පහර දෙකක් සහ 04 පහර 07ක් ඇතුළත් වුණා.

පැතුම් නිස්සංක ලකුණු 56ක් සහ වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 20යි. කෙසේවෙතත් ක්‍ර්‍රීඩා පිටියට පැමිණි සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණු 20 සීමාවට පැමිණිමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ ලකුණු 230කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

නායක රෝහිත් ෂර්මා ලකුණු 58ක් සහ අක්සාර් පටෙල් ලකුණු 33ක් රැස් කළා. 

කේ එල් රාහුල් ලකුණු 31කට දැවී ගිය අතර විරාත් කෝලිට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 24ක් පමණයි. 

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ නායක චරිත් අසලංක කඩුලු 03 බැගින් බිඳ හෙළුවා.

දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

නොදැවී ලකුණු 67ක් රැස් කළ සහ ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳ හෙලූ දුනිත් වෙල්ලාලගේ තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

දෙරට අතර දෙවන එක් දින ක්‍රිකට් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරු 02යි 30ට එම තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.