Saturday, September 7, 2024

General line - 0115112241

වාස් ගුණවර්ධනට තවත් සිර දඬුවමක්

උදය කුමාර




2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාශයේ  අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු,   මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 04ක් සිර දඬුවමක් අද නියම කළා.

ඊට අමතරව වාස් ගුණවර්ධනට රුපියල් 20,000ක  දඩයක් ද ගෙවන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා එහිදී නියෝග කළේ. 

ඊට අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් හතරකට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16 ක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර සිටියා.

ඊට අමතරව එම විත්තිකරුවන්ට තුන්දනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කෙරුණා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 04 කින්  ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කළා. 

එම විත්තිකරුට රුපියල් 40000 ක දඩයක්ද නියම කෙරුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය තීන්දු කළේ.

2009 වසරේ අගෝස්තු මස 4 වනදා කොළඹ නැදිමාල ප්‍රදේශයේදී  මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුන රාමනායක නැමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබා, සුළු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා තිබුණා.