දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් අද අත්අඩංගුවට ගත්තා.
ඒ, දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මතයි.
එරට විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ද ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ දැරුවා.
එහෙත් එය අසාර්ථක වීමෙන් පසුවයි අද දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
විදෙස් වාර්තා සඳහන් කළේ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකල බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති බවයි.
ඔහුගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ ආධාරකරුවන් සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසුව බලධාරීන් විසින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාගේ නිවස වටා වූ තාප්පයට නැග තිබුණේ ඉණිමං ආධාරයෙන්.
පසුව ආරක්ෂාවට යොදා තිබූ වයර් කපා දැමීමට ද ඔවුන්ට සිදු වුණා.
ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගයක් ද මේ වන විට පැවැත්වෙන අතර ඔහු ධූරයෙන් ඉවත් කරන්නේ ද යන්න එහිදී තීරණය කරනු ඇති.
නඩුව ඊයේ ආරම්භ වූ නමුත් ඔහු නොපැමිණීම හේතුවෙන් මිනිත්තු හතරක් ඇතුළත නඩුව අවසන් වුණා.
දකුණු කොරියාවේ ඉතිහාසයේදී ධූර කාලය තුළ ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි.