Saturday, September 7, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස සී ෂෙල්ස් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීම් කළ විදේශ රැකියා නියෝජිතායතනයකට වැඩ වරදී




වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස සේවය කිරීම සඳහා පුද්ගලයින් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා තිබෙනවා.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් පිරිසක් විසින්.

මෙම නීතිවිරෝධි බඳවාගැනීම් සිදුකර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින්.

විමර්ශන නිළධාරීන් විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 6ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 6ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටයි එම කාර්යාංශය පියවර ගෙන ඇත්තේ.

විදෙස් රටවල බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමේ වැඩපිළිවෙලක්  මෙතෙක් ක්‍රියාත්මක නොවන බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවා.

එලෙස රැකියා සඳහා යොමුකරන බව පවසා මුදල් ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසද එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.