Tuesday, September 17, 2024

General line - 0115112241

පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට




කුමන හෝ අපරාධයක් සිදු කිරීම සඳහා රැගෙන යමින් තිබූ බවට සැක කෙරන පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල නගරයේ කැකිරාව බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දඹුල්ල පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරින් කිහිප දෙනෙකු විසින්. සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් විසින් අදාළ සැකකරුවන් පිළිබඳ සැක සිතී ඔවුන් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී සැකකරුවන් සතුව තිබී විදුලි ඩෙටනේටර් 15ක්, ඇමෝනියන් ග්‍රෑම් 500ක්, පුරණ ද්‍රව්‍ය පිරවූ ජෙල් කරල් එකක් සහ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් සොයා ගත් බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ දියබෙදුම ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනීම සඳහා ගලක් පුපුරවා හැරීමට මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන ආ බවයි.

කෙසේවෙතත් සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමෙන් අනතුරුව තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රත්ගම, කපුමුල්ල ප්‍රදේශයේ දී ගිනි අවියක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

ගිනි අවියක් සමඟ තවත් පුද්ගලයෙකු පොතුවිල්, බෝගස්ලන ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ලාහුගල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ලාහුගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.