Wednesday, November 27, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රී වෙල්ගමගේ අවසන් කටයුතු අද




අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි.

මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය මේ වනවිට මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පස්වරු 02.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 04.00ට මතුගම පිහිටි පාන්තිය ආදාහනාගාරය වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය රැගෙන යාමට නියමිතයි.

ඉන්පසු පස්වරු 06.00ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් ද ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මතුගම, හොරවල නිවසට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට කුමාර වෙල්ගම මහතා 74 වියේ පසුවුණා. 

ඉකුත් අරගල සමයේ පහර කෑමකට ලක් වූ අමාත්‍ය කුමාර වෙල්ගම මහතා තුවාල ලබා දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.

එම පහර දීම හේතුවෙන් අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.

මීට මාසයක පමණ කාලයක සිට අභාවප්‍රාප්ත වන තෙක් ඒ මහතා ප්‍රතිකාර ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලකයි. 

1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත සංවිධායකවරයා ලෙස පත්වන ඒ මහතා 1994 වසරේ පළමුව පාර්ලිමේන්තුවට පිවිසෙනවා.

එතෙක් සිට මෙවර පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කුමාර වෙල්ගම මහතා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

එමෙන්ම 2000 වසරේ සිට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2007 වසර දක්වා එම තනතුරේ කටයුතු කළා.

2004 වසරේ සිට 2007 වසර දක්වා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වුණේද කුමාර වෙල්ගම මහතාටයි. 

ඉන් අනතුරුව 2007 වසරේ සිට 2010 වසර දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ කටයුතු කළේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසයි.

ඉන් අනතුරුව පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත් වුණා.

2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව ඔහු තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසියා. 

නියෝජ්‍ය අමාත්‍ය ධූර හා අමාත්‍ය ධූර දැරූ කාලසීමාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය හා අනෙකුත් ක්ෂේත්‍ර හරහා ජනතාවට සිදු කළ මෙහෙය හේතුවෙන්  හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය පමණක් නොව ශ්‍රී ලංකාව තුළම හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ජනතා ප්‍රසාදයට ලක්වුණා.