Wednesday, November 27, 2024

General line - 0115112241

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි - දුම්රිය ධාවනයටත් බාධා

රංජිත් රාජපක්ෂ




පවතින අධික වර්ෂාවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන දුම්රියන් සියල්ල නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට පියවර ගෙන තිබෙනවා. 

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද විශාල කසල කන්දක් ද කඩා වැටුණා. 


මේ අතර, යාපනය A9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. 

ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බවටයි විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දෙමින් පොලීසිය රියදුරන්ට දැනුම් දුන්නේ.
 

පුත්තලම සිරම්බ්අඩිය ප්‍රදේශයේ මාර්ගයට ද අද දැවැන්ත ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමට බාධා එල්ල වුණා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තවත් පැය කිහිපයකින් ගස ඉවත් කිරීමට හැකි බවයි.

අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ද ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. 

ගල්ලෑල්ල මනම්පිටිය අතර ස්ථාන කිහිපයක් මාර්ගය අඩි හයක් දක්වා ජලයෙන් යටව තිබුණා. 
 

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ද තැනින් තැන මාර්ගවලට ගස් කඩාවැටීම, පස්කඳු කඩාවැටීම ඇතුළු සිද්ධීන් කිහිපයක් වාර්තාවන බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පවසනවා. 

ඒ, රත්තොට, පල්ලේපොල, මාතලේ හා විල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකයි. 
 

මේ අතර දින දෙකක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රත්තොට වැටැස්යාය අශෝකාරාම විහාරස්ථානයේ සංඝවාස ගොඩනැගිල්ලට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. 

අනතුරෙන් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විනාශ වී ඇතත් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, වත්තේගම පහලයටවර 12 කනුව ප්‍රදේශයේ ද කඳු මුදුනක් නාය යාම හේතුවෙන් නිවාස කිහිපයකට දැඩි අවදානමක් එල්ල වී තිබෙනවා. 

එක් නිවසක බිත්ති කඩා වැටි අර්ධ හානි සිදුව ඇති අතර ඇතැම් නිවාස මතට ගස් හා පස් කදු වැටීමෙන් එම නිවාසවල වාසය කිරිම අවදානම් බැවින් නිවාසවලින් ඉවත් වන ලෙසටයි අදාල අංශ මගින් දැනුවත් කර ඇත්තේ.