Sunday, January 5, 2025

General line - 0115112241

ඉතිහාසගත ජයග්‍රණය ගැන ශ්‍රී ලංකා නායකයා කතා කරයි




තරඟාවලිය පරාජය වී සිටියදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තුන්වන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට හැකි වීම පිළිබඳ වඩාත් සතුටට පත්වන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා. 

අද පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙම අදහස් පළ කළා.  

දෙරට අතර පැවති තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේ ලකුණු 07කින්. 

ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ජයග්‍රහණයක් අත්කර ගත්තේ 2006 වසරෙන් පසු පළමු වරට වීම විශේෂත්වයක්.  
 

මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා. 

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 
 

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුණා. 

එය ඔහුගේ පළමු පන්දුවාර විස්සයි විස්ස ශතකයයි. ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වුණා. 

ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 44කින්. 

එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා කළ වේගවත්ම ශතකය වනවා. 
 

එමෙන්ම මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ශාන්ගෙන් පසු විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතකයක් වාර්තා කළ තුන්වන පිතිකරුවා වන්නේ කුසල් ජනිත් පෙරේරායි.

 එමෙන්ම ඔහු අද විස්සයි විස්ස පිටියේ ලකුණු 2,000 සීමාව පසුකර යාමටද සමත් වුණා. 

එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේද කුසල් ජනිත් පෙරේරායි. 
 

ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 211ක් පමණයි. 

පන්දු යැවීමේදී චරිත් අසලංක ලකුණු 50කට කඩුලු 03ක් සහ වනිඳු හසරංග ලකුණු 38කට කඩුලු 02ක් දවා ගත්තා. 

මෙම තරඟයේ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළ කළේ මෙවන් අදහසක්.