Wednesday, January 15, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්චුනාගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

උදය කුමාර




යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට, සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස එම මන්ත්‍රීවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ, එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී වග උත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට මෙම නඩුකරයට අදාලව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 

එහෙත් විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති නිසා මෙම ඉල්ලීම ඊළඟ දින සිදු කරන ලෙසත් විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම් දුන්නා. 

ඉන් අනතුරුව අදාල පෙත්සම ලබන 31 වනදා කැඳවීමට නියම වුණා.

රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරග කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියා. 

ඒ අනුව අදාල මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.