Thursday, January 16, 2025

General line - 0115112241

ඩිජිටල් හැඳුනුම්පත ගැන තවත් චෝදනාවක්

එන් ඒ ඩබ් නිරෝෂන්




දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් තවත් චෝදනාවක් එල්ල වනවා. 

ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී නොමැති බවයි. 

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසුවේ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහන සඳහා ඉන්දීය ආධාර ලැබීමට යෝජනා කර තිබුණේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.

කෙසේවෙතත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ කියා සිටියේ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන සමාගම හෝ තවමත් නොදන්නා බවයි.

එහෙත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහන සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඉන්දියාවේ සහාය ලබාගත් බවයි.

දැනට නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි මේ වන විටත් ප්‍රකාශ වී ඇත්තේ. 

මෙම වැඩසටහනට අදාළ මෘදුකාංග පද්ධතිය සකස් කිරීම ඉන්දියානු සමාගමක් හරහා සිදු කළ ද ඒ සඳහා මෙරට පුද්ගලයින්ගේ ජීව දත්ත ඇතුළත් කිරීම අදාල ඉන්දියානු සමාගම හරහා සිදු නොකරන බවද ආණ්ඩුව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.