Thursday, January 16, 2025

General line - 0115112241

මාස 15කට පසු ඊශ්‍රායල් - හමාස් යුද ගිනි නිවෙයි




ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා.   

ඒ,  මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින්. ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීම සිදුවනු ඇති.

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට මැදිහත්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ කටාර් සහ අමෙරිකා එක්සත් ජනපදයයි. 

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි පැවසුවේ මෙම ගිවිසුම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවයි. 

ගිවිසුමත් සමඟ ගාසා තීරයේ සටන් නවත්වන බවත්, පලස්තීන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබා දෙන බවත්, ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් කරන බවත් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

සටන් විරාම ගිවිසුම පිළිබඳ නිල නිවේදනය පැමිණි වහාම බොහෝ පලස්තීන ජාතිකයින් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සාමාජිකයින් එය සමරා තිබුණා. 

එහෙත් ගාසා තීරය තවමත් යුද බියක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ, සටන් විරාම ගිවිසුම පිළිබඳ නිවේදනය කර ඇති පසුබිමකත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවීම හේතුවෙන්. 

එහිදී පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මිය ගිය බව හමාස් සංවිධානය පවසා තිබෙනවා. 

ඊශ්‍රායල් - හමාස් යුද ගැටුම් ආරම්භ වූයේ 2023 වසරේ ඔක්තෝබර් 07 වනදායි. 

ඒ, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරයත් සමඟයි. 

එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත්තා.

ඉන් ඇරඹි සටන් හේතුවෙන් ගාසා තීරයේ 46,700 කට වැඩි පිරිසක් මිය ගියා. මිලියන 2යි දශම 3කට වැඩි පිරිසක් අවතැන් වුණා. 

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රාණ ඇපකරුවන්ගෙන් 94 දෙනෙකු තවමත් හමාස් විසින් රඳවාගෙන සිටින බවයි. ඉන් 34 දෙනෙකු මිය ගොස් ඇති බවට අනුමාන කෙරෙනවා.