Friday, February 21, 2025

General line - 0115112241

කාන්තාවක් වෙඩිතැබූ ගිනි අවිය රැගෙන ආ හැටිත් හෙළිවෙයි



අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ මෙම ඝාතනයට කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු පැමිණ ඇති බවයි. ඔවුන් නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලා ගෙන පැමිණ ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවයි.

ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බව සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි ඔහු සඳහන් කළා.

නීතිඥවරු භාවිත කරන ‘අපරාධ නඩු විධාන සංග්‍රහය‘ නම් ග්‍රන්ථයේ පිටු ගිනිඅවියේ හැඩයට කපා ඉතා සූක්ෂම ලෙස අපරාධකරුවන් ගිනිඅවිය අධිකරණය තුළට රැගෙන විත් තිබූ බවටයි දැන් හෙළි වී ඇත්තේ.

ගණේමුල්ල සංජීව විත්ති කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

අධිකරණයට පැමිණෙන සියලු පුද්ගලයින් දැඩි පරික්‍ෂාවකට ලක් කරන නමුත් විනිසුරුවරුන් හා නීතිඥවරුන් පරික්‍ෂාවට ලක් නොකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එම අඩුපාඩුව ප්‍රයෝජනයට ගනිමින් ඝාතකයින් මෙම වෙඩිතැබීම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ අද උදෑසනයි.

ඒ, නඩු කටයුත්තක් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසියේ ආරක්‍ෂාව මත ඔහු රැගෙන විත් සිටි අවස්ථාවේදීයි.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ සංජීව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියා.

ඔහු ජීවිතක්‍ෂයට පත් වුණේ කොළඹ ජාතික රෝහලේදීයි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ගණේමුල්ල සංජීවගේ පපුවට වෙඩිවැදී තිබූ බවයි. 

වෙඩිතැබීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එම ස්ථානයට පැමිණියා. 

මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග අද උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද පැමිණියා.

මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පැවසුවේ මෙම වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ගණේමුල්ලේ සංජීව නමැත්තාට මිනිමැරුම්, කොල්ලකෑම, කප්පම් ලබාගැනීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි අයෙක්.  

ඔහු ඉකුත් 2023 වසරේ අත්අඩංගුවට ගැනුණේ විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදීයි. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු අද අලුත්කඩේ උසාවි සංකීර්ණයට රැගෙන ආවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි.