Friday, September 20, 2024

General line - 0115112241

රටම බලා සිටින භාරත ඝාතනයේ තීන්දුවට සියල්ල සුදානම් – STF සීරුවෙන්..තීන්දුව දෙන්නේ මෙලෙසයි



භාරත ලක්‍ෂමන්  ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිත නිසා කොළඹ මහාධිකරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව විනිසුරුවරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරුණා.

මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් අද (8) දින නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතයි.

වසර එකහමාරකට අධික කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් අනතුරුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පසුගිය දා නියම කෙරුණා.

අද දිනයේ කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා කොළඹ මහාධිකරණය හා ඒ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්‍ෂාව ලබා දෙන බවයි පැවසෙන්නේ.

අද දවස පුරා නඩු කටයුතු වලට සම්බන්ධිත පුද්ගලයින් පමණක් කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුල් කර ගැනීමට බලධාරීන් විසින් තීරණය කර ඇතැයිද වාර්තා වනවා.