භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් වන තීන්දුව පිළිබඳව බොහෝදෙනෙක් මේ වන විට විමසිල්ලෙන් පසුවනවා.
එක් දුවෙක් සහ එක් පුතෙක්ගේ පියාණන්වූ භාරත තම දරුවන්ට අපමණ ආදරය කළ බවයි ඔහුගේ බිරිඳ පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.
වරක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය දැඩිව තිබූ 1988 වසරේදී නාඳුනන තරුණයෙකු වෙඩි තබන විට භාරත තම දියණිය ආවරණය වන ලෙස තුරුළු කර ගනිමින් වෙඩික්කරුට තම සිරුර හැරවූ බවයි ඇය එහිදී සඳහන් කර තිබුණේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ ඒ පිළිබඳව කර තිබූ එම ප්‍රකාශය පහතින් දැක්වෙනවා.
“ඒ වෙනකොට ජේ.වී.පී. භීෂණය රට පුරාම පැතිරෙමින් තිබුණේ. ඒ 1988 ඔක්තෝබර් මාසේ. දුවට එතකොට හරියටම අවුරුද්දයි. අසූ අටේ ඔක්තෝබර් තිස් වැනිදා රෑ අපි ගෙදර සාලෙට වෙලා කතා කර කර හිටියේ. මම, භාරත, භාරතගෙ තාත්තා, භාරතගෙ නංගි, මගේ මල්ලි එවෙලේ ගෙදර හිටියේ. භාරතගෙ උකුලෙ තමයි දුව හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මැතිවරණයට තරග කරනවාද නැද්ද කියන තීරණය ඊට පහුවැනිදා ගන්න තිබුණේ.
ඒ ගැන තමයි අපි එදා කතා කරකර හිටියේ. ඒ වගේම ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ තර්ජනයට ලක්වෙලා හිටපු අයට පුහුණුවකුත් දුන්නා. ඒ වෙනකොට මගේ මල්ලිත් ඒ පුහුණුව ලබලා හිටියේ. ඔය පුහුණුවට ගිය තවත් පහළොවක කණ්ඩායමක් ඊට පහුවෙනිදා පුහුණුව නිම කරලා එන්න හිටියේ. භාරත ඒ අය ගැනත් කිය කියා හිටියේ කොයි ස්ථානවලට කොහොමද ආරක්ෂාවට යොදවන්නේ කියලා.
ඔය දවස්වල අපේ ගෙදර උදව්වට ගෑනු ළමයෙකුත් හිටියා. අපි කතා කර කර ඉන්න අතරේ ඒ ළමයා රට කජු ගේන්න ගිහින් හිටියේ. රට කජුත් අරගෙන ඒ ළමයා ගෙට ඇතුළු වෙන කොටම ටී 56 තුවක්කුවක් ගත්ත තරුණයෙකුත් ගෙට ඇතුළු වුණා. ඒක අපි කීයටවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි.
ගෙට ඇතුළු වුණු ඒ මනුස්සයා කළේ දිගට හරහට වෙඩි තියන්න ගත්ත එක. දුව උකුලෙ තියාගෙන හිටිය භාරත කළේ දුවව තුරුළු කරගෙන වෙඩි තියන පැත්තට කොන්ද හරවපු එක. වෙඩි තියනවා වෙඩි තියනවා ඒත් කොන්දට වදින්නෙ නැත්තේ ඇයි කියලා භාරත ඒ වෙලාවේ කල්පනා කළා කියලා පස්සෙ දවසක මට කිව්වා.
තුවක්කුවත් අරගෙන ඒ මනුස්සයා දොරෙන් ඇතුළු වෙන වෙලාවේ භාරතගෙ තාත්තා හිටියේ දොර ළඟ. තාත්තා කරල තියෙන්නේ තුවක්කුකාරයා තුවක්කුව උස්සන කොටම තුවක්කු බටේ අල්ලලා බිමට හරවන එක. ඒකෙන් පිට වුණු උණ්ඩවලින් ගෙයි සාලෙ ලොකු වළක් හෑරිලා තිබුණා.
දුව තාත්තට පුදුම ආදරයක් තිබුණේ. හැමදේම කිව්වෙ තාත්තත් එක්ක. කොල්ලෙක් යාළුවෙන්න ඇහුවොත් ඒකත් තාත්තට කියනවා. ඒක හරි පුදුමාකාර බැඳීමක්. භාරතගෙ මරණය දුව කොහොම දරා ගත්තද කියල හිතා ගන්න බැහැ. තාත්තාගෙ ඝාතනයට සාධාරණය ඉටු කර ගන්න සටන් කරන්න දුවට ඔය තරම් ශක්තියක් වෙන්න ඇත්තෙ ඒ ආදරයම වෙන්න ඇති. “