Monday, December 23, 2024

General line - 0115112241

ඇපිල් කළත් දුමින්දට එළියට එන්න බැහැ




භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඊයේ (08) ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කළ ද මරණ දඬුවමට නියම වූ කිසිවෙකුට ඇප ලබා ගැනීමට නොහැකි බව නීතිඥවරුන් පෙන්වා දෙනවා.

මහාධිකරණයේ තීන්දුව වූයේ මෙම නඩුවේ චූදිතයන් දහතුන් දෙනාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමටයි. ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ඒ අනුව අභියාචනයක් ගොනු කරන බවත් චූදිතයින්ගේ නීතිඥවරුන් පසුව කියා සිටියා.

එවැනි අභියාචනයක් කරන ලද අවස්ථාවක දී චූදිතයන්ට ඇප ලබාගෙන නිදහස් වීමට ද අවස්ථාවක් ලැබෙන්නේදැයි නෙත් නිව්ස් වැඩිදුර විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසා සිටියේ අභියාචනය අවසන්ව තීන්දුවක් ලැබෙනතෙක් ඇප නොලැබෙන බවයි.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව කොළඹ මහාධිකරණයේ දී විභාග කෙරුණේ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේයි. ඒ අනුව එහි අභියාචනය ඉදිරිපත් කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද නීතිඥ යූ. ආර්. ද සිල්වා කියා සිටියා.

මරණීය දණ්ඩනය නියමූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවා. ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේයි. මේ වනවිට ඔහු එහි සී 3 වාට්ටුවේ රදවා සිටිනවා. එම ස්ථානයටද විශේෂ ආරක්‍ෂාවක් සපයා ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කළේ. මරණීය දණ්ඩනය නියම වු තැනැත්තෙකු සුදු පැහැති සරමක් සහ කමීසයක් ඇදිය යුතුයි. ඒ අනුව ඊයේ පස්වරුවේම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාටද එම සුදු පැහැති සරම සහ කමීසය ලබාදී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා.