Tuesday, September 24, 2024

General line - 0115112241

කුලියාපිටිය සිසුන්ගේ නිර්මාණයකට රන් සම්මාන (VIDEO)




ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) මගින් සංවිධානය කරණ ලද රොබෝ තාක්‍ෂණ නිර්මාණ තරගයේදී (ROBO FEST-2016) රන් සම්මානය හිමිවුනේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසකටයි.

පාසැල් දරුවන් තුළ සැඟවී ඇති සහජ දක්‍ෂතාවයන්, කුසලතාවයන් හා නිර්මාණශීලීත්වය අගය කිරීමේ අරමුණින් මෙම තරගය පැවැත්වුණා.

එහිදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තාක්‍ෂණ නව නිපැයුම් සංසඳයේ දරුවන් පිරිසකගේ එකමුතුවෙන් නිර්මාණය කළ යාන්ත‍්‍රික රොබෝවක් සඳහා දහසින් බැඳි පියලි සමග රන් සම්මානය දිනා ගැනීමට සමත්වුණා.

robo-www-nethnews-lk00001 robo-www-nethnews-lk00002 robo-www-nethnews-lk00003 robo-www-nethnews-lk00004 robo-www-nethnews-lk00005

ඒ සම්බන්ධයෙන් විදුහල්පති එච්. එම්. එන් හේරත් මහතා මෙලෙස අදහස් දැක්වූවා.

“අපි මේ පාසලේ සියලු කටයුතු කොටස් 4ක් යටතේ සංවර්ධනය කරනවා. විෂයානුබද්ධ කටයුතු, විෂය බාහිර ක‍්‍රියාකාරකම්, පරිපාලනමය කටයුතු හා භෞතික සම්පත් කළමණාකරනය හා අලංකාරය ඒ කොටස් හතරයි. ඉගැනීමට පන්තිකාමරයේ කරන හරඹයට වඩා මේ සියල්ල අවශ්‍ය බව කිවයුතුයි. මෙම සිසු පිරිස නිර්මාණ කරණය විෂය මාලාවේ දස්කම් පෙන්නුවේද පොත පතේම නියැලී නෙවෙයි. අප විද්‍යාලයේ දරුවන්ගෙන් සියයට අනූපහක් පමණ දෙනා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුණු ලබා පැමිණෙන අය. ඒ නිසා ඔවුන්ගේ මෙම දක්‍ෂතා අරුමයක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. ආචාර්ය මණ්ඩලය හා පාසැල් සංවර්ධන සමිතිය මේ දරුවන්ට තව තවත් ඉදිරියට යන්න කැමැත්තෙන් සිටිනවා”

නියෝජ්‍ය විදුහල්පති ඒ. එම්. එන් ඩබ්ලිව් ඇරැව්ගොඩ මහතාද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

“මේ විෂය අනිකුත් විෂයන්ට වඩා හාත්පසින් වෙනස්. ඒකට අවශ්‍ය පූර්ණ නිදහසත් පහසුකම් සහිත වටාපිටාවත් අපි ගුරුවරයා ඇතුලු සිසුන්ට ලබාදී තියෙනවා. අපේ අරමුණ මේ දරුවන්ට මෙන්ම විදුහලට ජාතික හා ජාත්‍යන්තර කීර්තියක් ලබාදීමටයි. ඒකට සුදුසුම කණ්ඩායම තමයි මේ කණ්ඩායම.
2016 රෝබෝ තරගාවලියේදී රොබෝ යාන්ත‍්‍රික නිර්මාණ අංශයේ සිව්වන ස්ථානය ලබාගැනිමටද නිමල් ෆොන්සේකාගේ මෙයෙවීමයටතේ සමිත දිසානායක, විකුම් දයශාන්, අවිශ්ක හශේනු විජේසූරිය, දුලාජ් රත්නායක හා ඩී. ඩී. කේ අගලවත්ත යන සිසුන් කණ්ඩාම සමත්වීමද තවත් විශේෂත්වයකි”.

මෙම හුරුබුහුටි රහස් පරික්‍ෂකයා නිර්මාණය කිරීමේදී මධ්‍යවිද්‍යාලයේ තාක්‍ෂණ විෂය භාර ආචාර්ය නිමල් ෆොන්සේකා මහතාගේ මගපෙන්වීම ඔවුන්ට නොඅඩුව ලැබී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම පාසලේ තාක්‍ෂණ විෂයභාර ආචාර්ය නිමල් ෆොන්සේකා මහතා පැවසුවේ සීමිතවූ තාක්‍ෂණ හා ඉලෙක්ට්‍රොණික පහසුකම් මධ්‍යයේ ලෝකයටම පිළිගතහැකි මෙවන් විෂ්මිත නිර්මාණයක් කිරීමට තරම් ගම්බදින් බිහිවූ මෙම සිසු දරුවන් සමත්වීම රටටම ආදර්ශයක් බවයි.

එම කණ්ඩායමේ නායක සමිත මධුවන්ත රත්නායක සිසුවා සහ අනෙත් සිසුන් ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

“කොබෙයිගනේ ශ‍්‍රී පරාක‍්‍රම ජාතික පාසලෙන් ශිෂ්‍යත්වය ජයගෙන මෙම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ආවා. දැනට උසස්පෙළ ගණිත අංශයෙන් ඉගනුම ලබනවා. මට මතකඇති කුඩා අවධියේ සිටම බැටරිකෑලි වයර්කෑලි වලින් යම් යම් නිරමාණ අත්හදාබලන්න පටන්ගත්තා. ලොකුවෙද්දි පොත්පත් බලලා වැරදි වැරදි තාක්‍ෂණික නිර්මාණ අත්හදා බැලුවා. ඒ අනුව මම ගුවන්විදුලි හා රූපවාහිණී අලුත්වැඩියාව කරන්න වැඩිකල් නොගොස්ම ගෙදරදී ඉගනගත්තා. ඒ ඉගෙනගත්ත දේ ප‍්‍රයොජනයට ගෙන අසල්වාසීන්ගේ විදුලි උපකරණ අලුත්වැඩියාවෙන් යම් මුදලක් උපයාගත්තා. මේ දැනුම හා කැමැත්ත මෙම විද්‍යාලයේ රොබෝ නිර්මාණකටයුතුවලට මාව පෙළඹෙව්වා. මෙහිදී යම් යම් උපකරණ මිළදි ගැනිම්වලට විදුලි උපකරණ අලුත්වැඩියවෙන් සොයාගත් මුදල ඉවහල් වුනා. මේ තාක්‍ෂණික දැනුම අනුව ඉංජිනේරුවෙකු වීම මගේ අරමුණයි. මා අපේක්‍ෂාකරන දැනුම හා පහසුකම් මෙරට නෙවන්නේනම් විදෙස්ගතව හරි ඒ දැනුම ලබාගන්න මම සූදානම්”

ඒ. කේ. මනෝජ් නෙරංජන ශිෂ්‍යයා

“කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වෙලා මෙම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වුනා. දැනට මම 13 වසරේ ඉගනගන්නෙත් තාක්‍ෂණික අංශයේ. ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් පරිපත සඳහා කුඩා අවධියෙ ඉඳලයි මම කැමැත්තක් දැක්වුවේ. ෆොන්සේකා සර් හමුවීමෙන් ඒ දැනුම යාවත්කාලීන කරගන්න හැකිවුනා. ඒ අනුව සර් ආරාධනා කළා මේ රොබෝ නිර්මාණ තරගයට සහභාගිවෙන්න කියලා. මේ ආශ‍්‍රය කරගන අපිත් යම් යම් නිර්මාණ කළා. මේ සඳහා ආර්ඩිනෝ බෝඩ් වැන් දේ මිළදීගන්න මුදල් අවශ්‍ය වෙනවා. රොබෝ නිරමාණ කටයුතු මම උස්සපෙළට හදාරන විෂය හා සම්බන්ධවන නිසා පාඩම් අතපසු වේ යැයි ගෙදරින් දොස් ආවෙ නැහැ. මගේ අදහස රටට වැඩදායි ඉංජිනේරුවරයෙක් වන්නටයි”

පී. ඩබ්ලිව්. සමාල් විරුදක ශිෂ්‍යයා

“ඇස්සැද්දුම සුභාරතී විදුහලෙන් මම ශිෂ්‍යත්වය සමත්වෙලා 6 වසරට එනවිටත් මට මගේ සහෝදරයාගෙන් ලැබුන තාක්‍ෂණික දැනුම මා තුළ තිබුනා. මෙම රොබෝ නිර්මාණකරනයට මා පෙළඹෙන්නට ඇත්තෙත් ඒ නිසයි. 11 වසරේදී සයිටම් 2015 රොබෝ නිර්මාණ තරගයටත් මම ඉදිරිපත්වුනා. ඒකෙන් අපි රිදී පදක්කමක් දිනාගත්තා. අයියා මොරටුව විශවවිද්‍යාලයට යන්න කලින් සිටම ඔහුගේ තාක්‍ෂණික නිර්මාණයන්ට මාව දායක කරගත්ත නිසා මට ලොකු අත්දැකීම් ඒ හා සම්බන්ධව තිබුනා. ඉලෙක්ට්‍රොනික් අංශයෙන් විද්‍යාඥයෙක් වෙන්න තමයි මගේ එකම අරමුණ”.

හංස පසිඳු ජයතිලක ශිෂ්‍යයා

“මම ශිෂ්‍යත්වය සමත්වුණේ ඇස්සැද්දුම සුභාරතී විදුහලෙන්. දැනට මෙම විදුහලේ ඉගනුම ලබන්නෙ 11 වසරේ. ගණිතය විෂයට කුඩා අවධියේ පටන් මම කැමතියි. කිරිඅම්මා කුඩාකාළෙ ගෙනත් දෙන ළමා පුවත්පත්වල මේ තාක්‍ෂණික ලිපි පලවී තිබුනා. ඒවා කියවලා මට ආසාවක් ඇතිවුනා ඒ හා සම්බන්ධ යම් යම් නිර්මාණ අත්හදා බලන්න. මෙම විදුහලට ඇතුළත්වුනායින් පස්සේ ෆොන්සේකා සර්ගෙන් වගේම පන්තියේ මිතුරෙකු වූ සමිතගෙනුත් මට මේ සඳහා උපදෙස් ලැබුනා. අම්මා අප්පච්චි මේ කටයුතුවලට නොමදව සහයෝගය ලබාදෙනවා. ඒත් මේ පාර සාමාන්‍ය පෙළ ලියන නිසා මොන දේ කළත් නිතරම ඒ පිළිබඳව අවධානය යොමුකරන්න කියලා කියනවා. මෘදුකාංග ඉංජිනේරුවෙක් වීම තමයි මගෙ ඉලක්කය”.

සනිඳු සඳමාල් බස්නායක ශිෂ්‍යයා

“මම මේ පාසලට එන්නෙ ගිරිඋල්ල වික‍්‍රම ශිලා ජාතික පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා. දැනට 12 ශ්‍රේණියේ ගණිත අශයෙන් ඉගෙනුම ලබනවා. මම ආව දවසෙ ඉඳලා මගෙ හොඳම යාලුවෙක් වුන සමාල් නිසා තමයි මම මේ පැත්තට යොමුවුනේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව මූලික දැනුමක් මට තිබුනෙ නැහැ. යාලුවො සාමූහිකව වැඩ කරනවා බලන් ඉඳලම මට ඒ ගැන දැන් තියෙන්නෙ දැඩි ආශාවක්. යාලුවන්ගේ තියන් දැනුමත් උපයොගීකරගෙන ෆොන්සේකා සර්ගේ අවවාදත් ඒකට එකතුකරගෙන මේ සම්බන්ධව ඉහලට යන්න මම බලාපොරොත්තුවෙනවා”.