Tuesday, September 24, 2024

General line - 0115112241

ඊයේ රැළිය ගැන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් පැහැදිළි කිරීමක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවී එක්ව ක‍්‍රියා කළ යුතු යැයි තමන් තවදුරටත් විශ්වාස කරන බව අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය ඊයේ (08) පැවැත් වූ රැළිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පක්ෂය විවේචනය නොකර ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව ඇති බවත් පැවසුවා. ඔවුන්ට විපක්ෂයේ සිට දේශපාලනය කරන්නට පක්ෂය අවස්ථාව ලබාදී ඇති බවත් සඳහන් කළා. එ් හේතුවෙන් මේ සඳහා විනය පියවර ගැනීමක් අවශ්‍ය නොමැති බවත් පැවසුවා.

මෙම රැළිය පැවැත්වීම සඳහා රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණය ඉල්ලා තිබිය දී එය ලබා නොදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද ඔහු මෙම සංවාදයේ දී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී හෙතෙම සඳහන් කළේ “මම කළේ පැහැදිළි කිරීමක්.. හැබැයි ඒක විකෘති කරලා ලොකුවට ගෙනිච්චා. රත්නපුර සීවලී පිට්ටනිය ප්‍රසිද්ධ රැස්වීම්වලට නොදෙන්න නගර සභාව පසුගිය කාලයේ යෝජනාවක් සම්මත කරලා තිබුණා. අවශ්‍ය වුනොත් ජනාධිපතිට විතරයි දෙන්නෙ කියලා. මම කිව්වෙ ඒක. ඊයේ රැස්වීමෙත් මට දෝෂාරෝපණය කරලා.. “ යනුවෙනි.

රත්නපුරයේ ඊයේ පැවැත් වූ රැළියට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය පියවර ගන්නේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ද ප‍්‍රශ්න කළා. ඔහු ද කියා සිටියේ එවැනි විනය පියවර ගැනීමක් අවශ්‍ය නොවන බවයි.

එහිදී “විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මේ වගේ දේවල් කිරීම සාමාන්‍යයි. විනය ක්‍රියාමාර්ග ගන්නවා කියන්නෙ පක්ෂය දෙකට වෙන එක. මේ පක්ෂය දෙකඩ කරන්න අපි කිසිම හේතුවක් ඇති කරන්නෙ නැහැ. කවුරු හරි කඩාගෙන යනව නම් මිසක් යන්න හේතු හදලා දෙන්න අපි කටයුතු කරන්නෙ නැහැ.” යනුවෙන්ද හෙතෙම පැවසුවා.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනතා සහභාගීත්වය දිනෙන් දින අඩු වෙමින් ඇති බව වාර්තා වෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.