Tuesday, September 24, 2024

General line - 0115112241

වියළි කාළගුණයෙන් නල ජලයටත් බාධා




රට පුරා සුළු වැසි ඇති වූවත් සමස්තයක් ලෙස රටේ ඔක්තෝම්බර් – නොවැම්බර් කාලයේ වැසි තත්ත්වය සාමාන්‍ය අගයට වඩා අඩුවීමක් පෙන්නුම් කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් ලබන 15 වැනිදායින් පසු රට පුරා සුළු වශයෙන් හෝ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 16 ක් මේ වනවිට බලපෑමට ලක්ව තිබෙන බවයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ලක්ෂ 05 ක පමණ පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි. ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පානීය ජල ගැටළුව බවත් ඒ අනුව හැකි සෑම අයුරකින්ම ඒ තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් පැවසුවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නල ජල සැපයුමට ද ඇතැම් ප‍්‍රදේශවල දී බාධා පැමිණ තිබෙනවා. නෙත් නිවුස් කණ්ඩායමක් ඉකුත් දා මහනුවර කළ සංචාරයක දී නිරීක්ෂණය කළේ බොහෝ ප‍්‍රදේශවලට දැනටමත් ජල සැපයුම සීමා කර තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර්  සඳහන් කළේ මේ දිනවල ජලය වැඩි වශයෙන් භාවිතා කරන බැවින් පීඩනය අඩු රටේ විවිධ ප්‍රදේශවල ජලය නල මාර්ග ඔස්සේ ගමන් කිරීමේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි. රාත්‍රී කාලයේදී එම ප්‍රදේශවලට ජලය ලැබෙන බැවින් ජලය කළමණාකරනය කරගත යුතු බවත් පැවසුවා.

නල ජල සැපයුම සඳහා ජලය ලබා ගන්නා මූලාශ‍්‍රවලට ගැටළුවක් නැතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. දැනට තිබෙන සංචිතවලින් අවම වශයෙන් සති දෙකක් කප්පාදුවකින් තොරව ජලය ලබාදිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.