Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති අමරදේවයන්ගේ අසාර්ථක ගෝලයෙක්




මුළුමහත් ජාතියම ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට ණයගැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ බිහි වූ අසිරිමත් ගාන්ධර්වරයෙකු මෙන්ම අසාමාන්‍ය සංස්කෘතික කලා ප්‍රාඥයෙකු ලෙසද අමරදේවයන් හඳුන්වා දිය හැකි බවයි විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

අමරදේවයන් යනු සිංහල ජාතියේ මෙන්ම ජාතියේ යශෝරාවය පිළිබඳ සංකේතයක් බව ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් විශේස ශෝක පණිවුඩයක් නිකුත් කර තිඛෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේදී කෙටි කලක් අමරදේවයන්ගෙන් සංගීතය ඉගෙන ගැනීමට තමන් ද වාසනාවන්ත වූ බවයි මෙමගින් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර ඇත්තේ. එහෙත් තමන් අමරදේවයන්ගේ අසාර්ථකම ගෝලයන්ගෙන් කෙනෙකු බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

සංගීතඥයෙකු, ගායකයෙකු හෝ වාදකයෙකු පමණක් ලෙස නොව අමරදේවයන් හෙල බස මෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් ගණනාවක් පිළිබඳව හසල දැනුමක් තිබූ මහා සාහිත්‍යවේදියෙකු බවයි මෙම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර දහස් සංඛ්‍යාත සංගීත ලෝලීන්ගේ හදවත්වල නොමැකෙන සලකුණක් තැබීමට ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සමත් වූ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

අමරදේවයන්ගේ අභාවයෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇති බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ විශේෂ ශෝක පණිවුඩයේ සඳහන්.

කථානයක කරු ජයසූරිය ද විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කර තිඛෙනවා.

ඉරහඳ පායන ලෝකේ – සැප දුක සමබර වේතමන් ගැයූ පද ජීවිතයෙන්ම විදහා පාමින් අමරදේවයන් අටලෝ දහමෙහි කම්පා නොවී පරමාදර්ශීව කි්‍රයාකළ බවයි එහි සඳහන් වන්නේ.

බහුශ්‍රැතයෙකු වන තරමටම අමරදේවයන් නිහතමානී වූ බවද කථානායකවරයා වැඩිදුරටත් පවසනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නිකුත් කළ විශේෂ ශෝක පණිවුඩයේ දැක්වෙන්නේ භාෂාවේ ඇති ජීව ගුණය සහ ධ්වනි පූර්ණ බව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිර්මාණවලින් මනාව විදහා දක්වන බවයි.

අමරදේවයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන බව ද මෙම නිවේදනයේ සඳහන් වනවා.