Sunday, September 8, 2024

General line - 0115112241

යුද හමුදාවට අපහාසයක් නොකළ බවට ඇමති රාජිතගෙන් ප‍්‍රකාශයක්




සමස්ත යුද හමුදාවම ‘‘ආවා’’ කල්ලිය සමග සම්බන්ධ බවට කිසිදු අයුරකින් තමා ප‍්‍රකාශ කර නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිතවත් හමුදාවේ එක් නිලධාරියෙකු යොදා ගනිමින් ‘‘ආවා’’ කල්ලිය නිර්මාණය කර ඇති බවයි.

විවිධ පිරිස් හිටපු ආරක්ෂක ලේකම්වරයා රැක ගැනීමේ අරමුණින් ‘‘ආවා’’ කල්ලියට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවට ප‍්‍රකාශ සිදු කරමින් සිටිනවා. එමෙන්ම හමුදාවට අපහාස වන අන්දමින් ඇතමුන් ප‍්‍රකාශ නිකුත් කිරීමට ද ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම යටතේ එක් හමුදා නිලධාරියෙකු කළ වරදක් නිසා සමස්ත හමුදාවටම හානියක් සිදු නොවන බව අමාත්‍යවරයා සිය නිවේදනය මගින් ප‍්‍රකාශ කරනවා.

තමා හමුදාවට කිසිදු අපහාසයක් සිදු කර නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුදා නිලධාරියෙකු යොදා ගනිමින් ආවා කල්ලිය නිර්මාණය කර හමුදාවට අපහාස කර ඇති බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර තිබුණේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ඉකුත්දා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.

එහි දී ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබුණේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදාළ ප‍්‍රකාශය ජනාධිපතිවරයා හමුවේ සිදු කළ යුතුව තිබූ බවයි.