Saturday, September 21, 2024

General line - 0115112241

සෞදි අරාබියේදී මියගිය ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාව ගැන විශේෂ පරීක්ෂණයක්




සෞදි අරාබියේ ඔලෙයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේදී සුබ‍්‍රමනියම් පලනියණ්ඩි කට්පගවල්ලි නමැති ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් මියයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ සෞදියේ තානාපති කාර්යාලය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඇය ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 8 වෙනිදායි. ඉකුත් නොවැම්බර් පළමු වෙනිදා සුබසාධන මධ්‍යස්ථානයේදී ඇය මියගිය බවයි සෞදි තානාපති කාර්යාලය වාර්තා කර ඇත්තේ. ඇය කඳවුරට පැමිණෙන විට මානසික ව්‍යාකූල තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් පළමු වරට ඉකුත් දා අනාවරණ කළා. පසුව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම රැඳවුම් මධ්‍යස්ථානයට ගොස් තිබෙනවා.

මියගිය අදාළ කාන්තාවගේ මෘත දේහය මේ වන විට එරට රෝහලක තැන්පත් කර ඇති බව සඳහන්. එය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.