Saturday, September 21, 2024

General line - 0115112241

අතිශ්‍ය දුර්ලභ ජීවියෙකුගේ මළසිරුරක් මන්නාරමේ (VIDEO)




ශ්‍රී ලංකාවේ අතිශ්‍ය දුර්ලභ සහ වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සමුද්‍රිය ක්ෂීරපායි සත්වයෙකුගේ මළසිරුරක් මන්නාරම වෙරළ තීරයට ගසාගෙනවිත් තිබෙනවා.

මුහුදු ඌරා හෙවත් මුහුදු එළදෙන යන නමින් මෙම සත්වයා හඳුන්වනු ලබනවා.

මෑත භාගයේ මෙවැනි සතුන් ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාවේ ජීවත්වෙන බවට ලැබුණු එකම සාක්ෂිය මෙය බවයි වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙලෙස වෙරළට ගොඩගසා තිබූ සතාගේ උදරයේ දරුණු තුවාලයක් දක්නට තිබූ බවත් නිලධාරීන් පැවසුවා. ධීවරයින් විසින් ඩයිනමයිට් දමා මසුන් මරණ අවස්ථාවකදී මෙම දුර්ලභ සත්ත්වයා තුවාල ලබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

මුහුදු ඌරන් ජීවත්වෙන ලොව රටවල් අතලොස්සකින් එකක් ලෙසයි ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත්තේ.

මන්නාරම් බොක්ක ආශ්‍රිතව දකුණු දිග ප්‍රදේශයේ පිහිටි සමුද්‍රිය තණබිම් ආශ්‍රිතව මෙම සතුන් ජීවත් වන බව සැළකෙනවා.

එහෙත් ඒ පිළිබඳව ලැබී තිබු සාක්ෂි ඉතා විරල බවයි වාර්තා වෙන්නේ. අවසන් වරට 2010 වසරේදී එවැනි සාක්ෂියක් ලැබී තිබුණු බවත් වාර්තාවල සඳහන්. අන්තර්ජාතික වශයෙන්ද මෙම සතුන් වඳවීයන සත්ත්ව විශේෂයක් ලෙස නම් කර තිබෙනවා.

මෙලෙස මන්නාරමට ගොඩ ගසා ඇති මුහුදු ඌරා ගේ වීඩියෝ දර්ශන ඊයේ (07) රාත්‍රී 8.00 ට විකාශය වූ ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයට ද ඇතුළත් කර තිබුණා.

මෙම උපුටා ගැනීම ශ්‍රී ලංකා රූපවාහිනී සංසථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයේදී මෙම සතුන් පිළිබඳ තැබූ සටහනකිනි.

(වීඩියෝව පහතින් බලන්න)