Saturday, September 21, 2024

General line - 0115112241

බුදු පිළිමයක් නිසා අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම්




ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් ඊයේ (07) රැස්වූ අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වුණා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් කියා සිටියේ, මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇත්තේ මුස්ලිම් ගම්මානයක වන හෙයින් එය නොකළ යුතුව තිබූ බවයි.

එසේම, මෙමගින් යහපාලනයට හා සංහිදියාවට හානියක් විය හැකි බව ද ඔහු කියා සිටියා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ  නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් ගේ ප්‍රකාශයට විරෝධය දැක්වූවා.

එහිදී හෙතෙම කියා සිටියේ, බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති බැවින් සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැදී සිටින බවයි.

බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිදියාව බිද වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියා.