Wednesday, April 24, 2024

General line - 0115112241

අනපේක්ෂිත පරාජයක් ලැබූ හිලරිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)




ලෝකයේම අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ හිලරි ක්ලින්ටන් ඊයේ (09) රාත‍්‍රියේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා.

ඇය පැවසුවේ මෙම ප‍්‍රතිඵලය පිලිගනිමින් අමෙරිකාවට නායකත්වය ලබාදීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දැන් අවස්ථාව ලබාදිය යුතු බවයි.

තමන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දුරකතනයෙන් අමතා සුභාශිංෂන පළ කළ බවත් ඔහු සියලු අමෙරිකානුවන්ට සාර්ථක ජනාධිපතිවරයෙකු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හිලරි ක්ලින්ටන් මෙහි දී ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ දී ලැබුණු ප‍්‍රතිඵලය තමන් අපේක්ෂා කළ එකක් නොවන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. එහි වේදනාව සහ පසුතැවීම මේ මොහොතේ සහ කලක් ගතවන තුරුත් තදින්ම දැනෙනු ඇති බවත් කෙසේවෙතත් තමන් තවදුරටත් අමෙරිකාවට ආදරය කරන බව ද ඇය කියා සිටියා.

තම මැතිවරණ ව්‍යාපාරය එක් පුද්ගලයෙකු හෝ එක් මැතිවරණයක් ඉලක්ක කරගත් එකක් නොවන බව ද හිලරි ක්ලින්ටන් කියා සිටියා. නීතියේ පාලනය, සියල්ලන් සමාන බවට සහ ගෞරවය හිමිවිය යුතු බවට තමන් ඉදිරිපත් කළ දැක්ම සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවයි ඇය අවධාරණය කළේ.

අමෙරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා ද ඊයේ සිය ජනතාව අමතා කතා කළා.  මැතිවරණයක දී එවැනි වේදනාවන් දරා ගැනීමට සිදුවන බව ඔහු සිහිපත් කළා.

තමන් ද ඇතැම් අවස්ථාවල මැතිවරණ පරාජය වී තිබෙන බවයි ඔබාමා කියා සිටියේ. එවැනි පරාජයක දී කළ යුත්තේ වැරදි හඳුනාගෙන ඒවා නිවරැදි කර ගනිමින් නැවත වරක් වඩා වැඩියෙන් උත්සහ කිරීම බව ද ඔහු පැවසුවා.

මේ අතර ජනාධිපති බරක් ඔබාමා සහ අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ දී අද (10) හමුවීමට නියමිතයි. බල හුවමාරුව සිදුවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාව වනවා.