Tuesday, December 24, 2024

General line - 0115112241

ඞීල් එකක් කියූ ‘බැසිල්ට එරෙහි ඉල්ලා අස්කරගත් නඩුවට’ අද සිදුවූ දේ




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා තිබූ නඩුවක් නීතිපතිවරයා විසින් ඊයේ ඉල්ලා අස්කර ගැනීම දේශපාලන ඞීල් එකක් බව අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න අද කියා සිටියා.

ඒ, කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.

පොහොට්ටුව ලකුණින් ලියාපදිංචි කර ඇති නව පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකුගේ වුවමනාවන් අනුව ක‍්‍රියාත්මක වන්නක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අදාළ නඩුව පවරා තිබුණේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී ලිත් මුද්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

එම නඩුව ඊයේ ඉල්ලා අස්කර ගැණුන ද ඒ සම්බන්ධයෙන්ම නව අධිචෝදනා පත‍්‍රයක් මගින් නීතිපතිවරයා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අද නැවත නඩු පවරනු ලැබුවා.

මුල් නඩුව ඉල්ලා අස්කර ගැණුනේ තාක්ෂණික දෝෂයක් නිසා බවයි රජයේ නීතිඥවරුන් පැවැසුවේ.

නීතිපතිවරයාගේ අනුමැතිය ලත් ලිපියක් අධි චෝදනා පත‍්‍රයට අමුණා නොතිබීමෙන් එම තාක්ෂණික දෝෂය සිදුව තිබුණා.

නව අධිචෝදනා පත‍්‍රය ගොනුකර ඇත්තේ එය නිවරැදි කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලත් ලිපිය ද සමගයි.

නගා ඇති අධිචෝදනාවන්ගේ කිසිදු වෙනසක් සිදුව නැහැ.