Thursday, September 19, 2024

General line - 0115112241

බ‍්‍රසීල කොකේන් ජාවාරම නිසා සීනි මිලත් වැඩිවෙයිදැයි සැක




සීනි තුළ සඟවා කොකේන් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරම නිසා තමන් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ශ‍්‍රී ලංකාවේ සීනි ආනයනකරුවන් පවසනවා.

බ‍්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි තොගයන්හි සඟවා තිබිය දී කොකේන් සොයා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමිනුයි ඔවුන් මේ බව පැවසුවේ.

සීනි තුළ සඟවා කොකේන් ප‍්‍රවාහනය කිරීම මෙම වසරේ දී ආරම්භ වූ ජාවාරමක් බවයි මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත් සීනි තුළ සඟවා තිබිය දී ශ‍්‍රී ලංකාවේ දී ඉකුත් දා සොයා ගැණුනු කොකේන් තොගයන් ශ‍්‍රී ලංකාවට එවීමට සැලසුම් කළ ඒවා නොවන බව ද, එම කොකේන් තොගයන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වැරදීමකින් බව ද, සීනි ආනයනකරුවන් කියා සිටියා.

ඉකුත් ජූනි මස 9 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී රුපියල් බිලියන 4 ක් පමණ වටිනා කොකේන් තොගයක් සොයා ගැණුනා. එහි බර කිලෝග‍්‍රෑම් 240 කට ආසන්නයි.

ඉකුත් ජූලි මස 21 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී කොකේන් කිලෝග‍්‍රෑම් 314 ක් සොයා ගැණුනා. එහි වටිනාකම රුපියල් බිලියන 6.5ක්.

තවත් කොකේන් තොගයක් සොයා ගැණුනේ ඉකුත් නොවැම්බර් 9 වනදායි. එහි වටිනාකම රුපියල් මිලියන 500 ක් පමණ වනවා.

සීනි තුළ සඟවා තිබූ මෙවැනි කොකේන් තොගයක් නොවැම්බර් මස 24 වනදා ද සොයා ගැණුනු බවයි සීනි ආනයනකරුවන් පවසන්නේ. එහි වටිනාකම රුපියල් බිලියන 2 ක් පමණ වනවා.