Friday, September 20, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය සේවකයින් රඳවාගෙන සිටි නැවක් මුදාගනී




හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් විසින් රඳවා ගනු ලැබූ එක් නෞකාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලෙවි සඳහන් කළේ එම නෞකාව ඕමානය බලා පිටත් කර හැරි බවයි. ඒ, නාවික හමුදාවේ ආරක්ෂාව සහ මෙහෙයුම් යටතේයි.

හම්බන්තොට වරායේ සේවකයින් විසින් රඳවා ගනු ලැබූ නෞකා දෙකක් බේරා ගැනීම සඳහා නාවික හමුදාව වරායට පැමිණීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් මේ වනවිට තත්වය පාලනය කර ඇති බව ද නාවික හමුදා සාමාජිකයින් තවදුරටත් වරායේ ආරක්ෂාවට රැඳී සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

නාවික හමුදාව මෙන්ම උද්ඝෝෂණයේ නිරත සේවකයන් ද තවදුරටත් වරාය පරිශ‍්‍රයේ රැඳී සිටිනවා. තමන්ට විසඳුමක් ලැබෙන තුරු උද්ඝෝෂණය අඛණ්ඩව සිදු කරන බව එහි ප‍්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් කිසිදු පහරදීමක් සිදු නොකළ බවත් උද්ඝෝෂකයින් විසින් සිරකර ගෙන සිටි විදේශීය වෙළඳ නෞකා දෙකක් බේරා ගැනීමට පමණක් සිය මෙහෙයුම් සිදු කළ බවත් නාවික හමුදාව අවධාරණය කළා.

හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ තමන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නා ලෙස බල කරමින්. එසේ නොකළහොත් රජය චීන සමාගමක් සම`ග එළඹෙන ගිවිසුම්වලින් සිය රැුකියා අවදානමට ලක්වන බවයි ඔවුන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ උද්ඝෝෂණයේ නිරත සේවකයින්ගේ රැකියා අවදානමට ලක් වන්නේ ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් බවයි.