Friday, September 20, 2024

General line - 0115112241

ඉල්ලා අස්වෙන බව කී දකුණේ ඇමති දැන් කියන කතාව…




සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ දකුණු පළාත් අමාත්‍ය යු. ජී. ඞී. ආරියතිලක, ඒ සම්බන්ධයෙන් වන ලිපියක් හෝ වෙනත් නිල දැනුම්දීමක් තවමත් ලබා දී නැතැයි දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ඉල්ලා අස්වීමක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුත්තේ ජනාධිපතිවරයා බවයි.

යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයාට අයත් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළඳ හා සමූපකාර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ දකුණු පළාත් සභාවේ දී පෙරේදා පරාජය වුණා. තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. එහෙත් මේ දක්වාත් ඉල්ලා අස්වීමේ ලිපියක් භාර නොදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔහුගෙන් ඊයේ (10) නැවත විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ තම ඡන්දදායකයින් තමාට ඉල්ලා අස් නොවන ලෙස පවසන බවය. ජනාධිපතිවරයා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්, තමාගේ මතයනම් සදාචාරයට අනුව ඉල්ලා අස්වියුතු බවය.

මේ අතර අදාළ වැය ශීර්ෂ පරාජය වීම යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයා සහ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පෞද්ගලික මත ගැටුමක් මිස දේශපාලනික කරුණක් නොවන බව ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා අවධාරණය කළා. ඒ නිසා දකුණු පළාත් සභාවේ බල පෙරළියක් සිදු වෙමින් ඇති බවට ඇතැම් මාධ්‍ය පල කර තිබෙන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.