Friday, September 20, 2024

General line - 0115112241

මෙරට දරු උපත් දහසකින් හය දෙනෙකුට හදවත් රෝග




මෙරට උපත ලබන සෑම දරුවන් දහසකගෙන් හයත් අටත් අතර පිරිසක් කිසියම් හදවත් රෝගයක් සහිතව උපත ලබන බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

වසරකදී මෙරට සිදුවන දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව වාර්ෂිකව අලූත උපන් දරුවන්ගෙන් තුන්දහසක් පමණ කිසියම් හදවත් රෝගයකින් පෙළෙන බවයි ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ළමා හා හෘද රෝග විශේෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ පෙන්වා දුන්නේ.

එවැනි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලිට්ල් හාර්ට්ස් නමින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියක් පිළිබඳව කරුණු දැක්විම සඳහා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කෙරුණා.

ලිට්ල් හාර්ට්ස් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දස මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපේක්ෂිතයි.

එමගින් ඉදිරි වසර විස්සක කාලය තුළ දරුවන් ලක්ෂ දෙකකගේ පමණ ජීවිත බේරා ගත හැකි බවයි විශේෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.