ජාතික උද්‍යාන සහ නව වනජීවී අභය භූමි ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත්කර ඇති අභය භූමිවල මායිම් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ.
ඒ අනුව කලාවැව හා බලලු වැවට අයත් වනාන්තර ප්‍රදේශය ‘‘කලාවැව ජාතික උද්‍යානය’’ ලෙස නම් කිරීමට තීරණය වී තිබෙනවා.
කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වනාන්තර ප්‍රදේශය ‘‘කහල්ල පල්ලෙකැලේ ජාතික උද්‍යානය’’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සාගර කලාපය ආවරණය වන පරිදි කායන්කර්ණි සමුද්‍රීය ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමටත් අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව නිකවැරටිය, හොරණ ආදී ප්‍රදේශ කිහිපයක නව අභය භූමි නම් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර පිහිටි කොරල්පර ඇතුළත් සාගර කලාපය ‘කුඩා රාවණා මහා රාවණා සමුද්‍රීය අභයභූමිය’ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් ගාල්ල දිස්ත්‍රික්කය බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි මාදු ගඟ අභයභූමියේ මායිම් සංශෝධනය කිරීමටත් ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.