Monday, December 23, 2024

General line - 0115112241

මාස 3ක නියඟයක් – ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්




ඉදිරි මාස 3ක කාලසීමාව තුළ වැසි අවම නියං කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බැවින් ඒ සඳහා මුහුණදීමට කටයුතු කරමින් සිටින බව රජය පවසනවා.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉදිරියේදී ඇති විය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

“ඉදිරි මාස 3ක කාලය තුළ ලංකාවට ලැබෙන වර්ෂාපතනය ඉතාම අවම මට්ටමක පවතිනවා කියලා අපිට වාර්තාකරලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරි මාස තුනේදී සාමාන්‍යයෙන් ලංකාවට ලැබෙන වර්ෂාපතනයත් ඉතා අඩුයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන නියඟයට හේතුව අපි පැහැදිලි කෙරුවොත් , 2016 අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණ වර්ෂාපතනය අපිට ලැබිලා නැහැ”.

ප‍්‍රධාන ජලාශවල මෙන්ම මධ්‍යම ප‍්‍රමාණයේ ජලාශවල ජල ධාරිතාව මේ වන විට සියයට 30 දක්වා අඩු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඒ හේතුවෙන් ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ද අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළා.

“දැනට අපේ ප්‍රධාන වාර්මාර්ගවල ජල ධාරිතාව සියයට 27ක් පමණයි තිබෙන්නේ. මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 220ක ජල ධාරිතාවත් සියයට 30ක පමණ තියෙනවා කියන එකයි වාර්තාවන්නේ. විශේෂයෙන්ම කෘෂි කාර්මික පැත්තෙන් ගත්තොත් , මේ අවුරුද්දේ , මේ කන්නේ ගොවිතැන් කරලා තිබෙන්නේ මුළු සංඛ්‍යාවෙන් තුනෙන් එකක පමන ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය ඉදිරියට පැවතුනොත් , ඉදිරි යල කන්නයටත් බළපෑමක් එල්ළවෙයි කියලා අපි විශ්වාස කරනවා”.

පවතින තත්ත්වය හේතුවෙන් ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.